UDAYA R. TENNAKOON

Home » Poetry » විෂම චක්‍රයෙන් පිට පැනීම පිණිස: හික්මෙන්නට ඉගෙන ගන්න මේදඬුවම

විෂම චක්‍රයෙන් පිට පැනීම පිණිස: හික්මෙන්නට ඉගෙන ගන්න මේදඬුවම

 17021483_1243354689096847_801737200832226694_n

මොලා නොහොත් මොහමඩ් ලලිත් සෙනවිරත්න වන අපගේ දේශපාලනික හා සමාජීය මිත්‍රයාගේ කාව්‍ය කෘතියක් එලි දැක්වීම හා ඒ හා පසුබිම් වූ වැදගත් සටහනක් මිත්‍ර සහෝදර සිසිර යාපා විසින් මුහුණු පොතේ සටහන් කොට තිබිණි.පරම්පරා කිහිපයක නියෝජනයක් ඇතිව එම අවස්ථාවේ මොලාගේ කවි හා ඔහු ගැන කතාබහක් ඇති වී ඇත. කවිවලින් කියන්නේ කුමක් දැයි යන්න දැන ගත නො හැකි වුවත් ඔහු ගැන යාපා තබන සටහන වැදගත් වේ. එම සටහන කියැවීමෙන් පසුව හැටහී ගියේ මෙම සටහන කිසියම් තලයකට රැගෙන ඒම ලංකාවේ විකල්ප හා ක්ෂුද්‍ර දේශපාලනයට හා සංස්කෘතියට වැදගත් වනු ඇති බව ය. එම අරමුණෙන් ගත් කල මෙහි ඇති වැදගත්කම කුමක් ද

පළමු වැදගත්කම වන්නේ එම සටහන වැඩි වශයෙන් ඔහුගේ පුද්ගලික අදහසක් සේ ගත හැකි වීම ය.

දෙවැනි වැදගත්කම වන්නේ පුද්ගලික සටහනක් වුව ද එය තුල දේශපාලනික හැඟවුම්කරණයක් හා කාලීන සමාජයට පරමාදර්ශී භාවිතාවක චිත්‍රයක් සංජනනය වන නිසා ය.

තුන්වැනි වැදගත්කම වන්නේ කලාව හා සංස්කෘතිය තුල දේශපාලනික අදහස ස්ථානගත කිරීමට ගැටලුවක්ව පවතින ලාංකීය සමාජය නැවත නැවත චක්‍රාකාර වීම නොහොත් ඛේදාන්තයේ විෂම චක්‍රයට පණ පෙවීමට අභිප්‍රේරණය ගෙන දීම

හතරවැන්න වන්නේ යාපාගේ සටහනට පසු ලියැවෙන අදහස් ය

පස්වැන්න වන්නේ මොලා සාධනීය ලෙස අධිනිෂ්චය වන ” සිංහල කොටි” යන පච්චය තුල ඇති දේශපාලනික හා පුද්ගල කේන්ද්‍රීය ඉතිහාසය පිළිබඳව හා එය සමස්ථයක් ලෙස ජාතික ප්‍රශ්නයේ ප්‍රාර්ථනාවන් ලෙස ඉතිහාස විනිශ්චයකින් තොරව උත්කර්ෂකරවීම.

මුලින්ම පළමු කාරණයට ඇතුළු වූ විට යාපාගේ සටහනේ සඳහන් පරිදි මොලා හා ඔහු, අතිජාත මිත්‍රයයන් ය.

” මොලත් මමත් එකම යුගයක එකට දේශපාලනය කළ දෙදෙනෙකි. දේශපාලන මිතුරුබව ඉක්මවා මොලා මගේත් අපේ විස්තෘත පවුලේත් මිතුරෙකි. සොහොයුරෙකි. දරුවෙකි. අපි එකට බොහෝ තන්හි කරක් ගැසුවෙමු” (යාපා. ෆේස් බුක්)

ඒ අනුව බොහෝ දෙනා කරන්නාක් මෙන් තම සගයා, හිතවතා පිළිබඳව ඔහුට දැනෙන දේ ලිවිය හැකි ය. එයට සීමාවක් හෝ තව කෙනෙකුට එසේ නො කළ යුතු යැයි කීමට සදාචාරාත්මක අයිතියක් නැත. එය සමාජ ජාලයේ තමන්ගේ ගිණුමේ පමණක් නොව ඕනෑම මාධ්‍යයක වුව ද සටහන් කළ හැකි ය. එය මිනිසාගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියකි. එහෙත් ගැටලුවක් ලෙස පැමිණෙන්නේ එම අදහස සමාජය විසින් පරිවර්තනය කර ගැනීමේ දී සංජානනය කර ගනු ලබන්නේ තාර්කිකව හා යාපාගේ පුද්ගලික සටහනක් ලෙස ද යන්න එක් එක් කියවන්නාට අනුව නිරපේක්ෂ වීම තුලය. ඊ. එච් කාර් නැමැති රුසියානු ඉතිහාසඥයා සඳහන් කරන පරිදි ඉතිහාසය කියවන්නට පෙර ඉතිහාසඥයා අධ්‍යයනය කළ යුතු ය යන්න මෙවැනි වැදගත් මාතෘකාවන් ද තේරුම් ගැනීමට වැදගත් වේ. එම නිසා යාපාගේ සටහනට පෙර යාපාව අධ්‍යයනය කරන්න යැයි කීවොත්, මෙම සටහන අධ්‍යයනය කළ හැකි වන්නේ කෙසේ ද යන්න අප කල්පනා කළ යුතු ය.

පුද්ගිලික සටහනක් ලෙස වැදගත් වුවත් එහි ඇති වචන හා වාක්‍යවල හැඟවුම්කරණය කරන අර්ථයන් මොනවාද යන්න ලෙස ගෙන දෙවැන්නට පිවිසිය හොත් අපට හමු වන්නේ මොනවා ද. යාපාගේ වචනවලින්ම මෙය තේරුම් ගැනීම පිණිස එහි කාණ්ඩයකට ඇතුළු වෙමු

“මොලා යකෙකි. ලියන, සොදුපත් බලන, පිටු අලවන, ටයිප් සෙටින් කරන, ලේඅවුට් කරන, පත්තර නමන, පත්තර බෙදන, ෆොටෝ ගන්න දන්න මොලා යකෙක් නොවෙයි නම් වෙන මොකෙක්දැයි මම නොදනමි. ඒ වැඩ වලින් මොලා සමග හැරෙන්නවත් අපට නොහැකිය.
89 දී මදිවාට මොලා 2007 දීත් හිරේ යන්න වාසනාවන්ත විය.
දෙවන වර මොලා සමග තව බොහෝ දෙනෙක් හිරේ ගියහ. උපරිමයෙන් අට වසරක් දක්වා ඔවුහු ත්‍රස්ත විමර්ශන ඒකකයේත් බූස්සේත් බන්ධනාගාරයේත් ගාල් කර තිබිණි.ඒ කාලය පිළිබදව ඒ ඒ අය අතර විවිධ ගැටළුද පවතී. මොලා සම්බන්ධ ඔවුන්ට විවේචන මෙන්ම බරපතල දෝශාරෝපනද ඇත. ඒවා කෙතරම්ම සාධාරණදැයි දන්නේ ඔවුනොවුන්ම පමණි.
මොලාට උතුරක් දකුණක් නැත. අරගලයක් ඇත්නම් එය තමන්ට සාධාරණයැයි හැගේ නම් කොන්දේසි විරහිතව මොලා එතැන හිදියි. ඇන්සල් සටනත් ඉහල කොත්මලේ සටනත් මොලාට එකය. එනිසාම මොලා ඒ දෙකෙහිම යාවජීව සටන් කරුවෙක් විය. (එම)

“89 මදිවට 2007 ත් මොලා හිරේ යන්න වාසනාවන්ත විය” යනුවෙන් ප්‍රකාශ කරන යාපා එක අතකින් හිරේ යෑම යන්න රොමෑන්ටික් දෙයක් බවට පත් කරන්නේ ඉදිරි හා හිතන මතන පරම්පරාවට පණිවිඩයක් ගෙන එමින් ය. අනෙක් අතට ඔහු හැඟවුම්කරන වාසනාවන්ත තම වෙනත් අර්ථයකට පෙරළණු ලැබුවොත් එය වාසනාවන්ත ය. මන්ද හිරේ නො ගියා නම් අනිවාරයයෙන්ම අත් වන්නේ මරණයය. එය හිරේ ගිය අයට පමණක් නොව රටින් පලා ගොස් පිටුවහල් වන්නටද ගැලපිය හැකි ය. බොහෝ සේ නිවැරදිව ගතහොත් යාපා සඳහන් කරන වාසනාවන්තම ගැන ඔහුට අවබෝධයක් ඇත. ඔහු මෙම සිංහල කොටි සිද්ධියට ඉතාමත් බරපතල ලෙස මැදිහත්වීමට උත්සාහ කළ කෙනෙකු මෙන්ම යාපාගේ මැදිගත්වීම නිසා බන්ධනාගරගත වූ සිංහල කොටීන්ට වෙනස් විදියේ පිළි ගැනීමක් ද ඇති විය. බන්ධනාගාරගත වූ මුල්ම දිනයේ දී සැකකරැවන් උසාවියට ඉදිරිපත් කිරීමේ දීම හිර ගෙදරට පිණිවිඩ ගොස් සැලසුමක් ක්‍රියාත්මක වන්නට විය. කිහිපදෙනෙකුට කායික වශයෙන් හිරිහැයට ලක් වීම මෙන්ම සියල්ලන්ටම මිනිසෙකුට කණකින් ඇසිය නො හැකි පීඩාවක් බන්ධනාගාර නිලධාරීන්ගෙන් ලැබුණේ ඉතා කාලකණ්නි ලෙස ය. හිර කරුවන් පවා බලන්නට වූයේ තමාගේ පරම හතුරා ලෙස ය. මෙවැනි තත්වයක් නිර්මාණය වෙමින් තිබුණු පරිසරයක දී යාපාට මැදිගත්වීමට හැකි වන්නේ එකල ඩිලාන් පෙරේරා අධිකරණ නියෝජ්‍ය ඇමැති වීම හා යාපා ඔහුගේ ලේකම් කෙනෙකු වීම නිසා මිසක යාපා යාපා ලෙස සිටියේ නම් සැබැන්ම කළ හැකි දෙයක් නැත. මේ නිසා යාපා සඳහන් කරන වාසනාවන්තකමට අර්ථයක් ඇතැයි කිව හැකි ය.

පසුබිම පිළිබඳ අවබෝධයක් නැති කෙනෙකුට උභතෝකෝටිකයකට මුහුණ දිය හැකි ය. එනම් රාජපක්ෂ රජයට එරෙහි වූවන්ට රාජපක්ෂ රජයම සහයෝගය දෙන්නට හේතුව කුමක් ද යන්න. ඒ වන විට මාධ්‍ය වල පල වූ වාර්තා අනුව මෙම සිංහල කොටීන් විවිධ වට්ටෝරු යටතේ නිර්වචනය වන්නට විය. ආණ්ඩුවේම ප්ලෑන් එකකට වැඩ කළ පිරිසක්, එල්. ටී. ටී. යට මුදලට කොන්ත්‍රාත් කළ පිරිසක්, කරුණාගේ පිරිසක් ආදි තවත් බොහෝ මතයන්වලින් පිරෙන්නට විය. මේ වන විට දස වසරක් පිරී ඇතැත් අදටත් මෙම සිද්ධිය ” කුරසාවාගේ රෂෝමොන්” වැනි ය. ආඛ්‍යාන ගණනාවක් මිස අර්ථකතන ගණනාවක් මිස, එක සත්‍යයක් නැත. එවැන්නක් නොමැති නිසාම කතුහලයක් හා ඊට පාරභෞතිත දයලෙක්තිකයකින් මිථ්‍යාවක් වෙමින් ඇත. මෙම සිද්ධියට පදනම් වූ දේශපාලනික අදහසකට හා ක්‍රියාකාරීත්වයට මුල් වූ කෙනෙකු ලෙස පැවැසිය හැකි බොහෝ දේ ඇතැත්, කෙටියෙන් කිව යුතු වන්නේ මෙහි එන බොහෝ දෙනෙකු දායකවී ඇත්තේ සමාජ යහපත ප්‍රාර්ථනා කරගෙන හා පැවැති චන්ද්‍රිකා ආණ්ඩුවට හෝ දෙමළ ජාතික අරගලයට එරෙහිව නොවන වග යන්න. මෙම කණ්ඩායම මා අයත් වුවත් අයත් නැත යැයි කියා ද අත්අඩංගුවට පත් වූ පසු අයත් යැයි කියා ද කිව හැකි වන්නේ, භාවිතාවේ හා අනෙකා මත තබන විශ්වාසය තුරන් වීමේ හේතුවක් මත ඉතා තීරණාත්මක නිමේෂයක දී මට කණ්ඩායම හැර යන්නට සිදු වුවත්, මොලා දිනක ත්‍රස්ත විමර්ශන හිර ගෙදර දී මට කිව්ව දෙය අමතක කළ යුතු නැතැයි සිතමි.

” උඹ කිව්ව විදියට කළා නම් මෙහෙම වෙන්නෙ නෑ”

මගේ මතකය අතීතයට යනවා. ඒත් අමාරුයි තවත් එහාට යන්න.

අනිත් වැදගත් තැනින් පටන් ගන්නම්

ඔහුගේ සටහනේ එන වැදගත් කොටසක් ලෙස මෙම උපුටනය අවබෝධකර ගැනීමට උත්සාහ කළහොත් අංශ තුනක දී හමුවන මොලා නම් සංකේතය සංස්කෘතිය හා දේශපානයට බද්ධ වනු ඇත.

පළමු වැන්න ලෙස මාධ්‍යවේදියෙකු හා නිර්මාණකරුවෙකු ලෙසත් දෙවැන්න දේශපාලනික ක්‍රියාකාරිකයෙකු ලෙසත් තුන් වැන්න චේ ගවෙරා පන්නයේ විප්ලවාදියෙකු ලෙසත් ය.

මෙහි එන පළමු වැන්න පිළිබඳ යාපා තබන සටහන සමකාලීන මධ්‍යකරුවන්ට ද පොත් කවර පෝස්ටර් අකුරු ගැන දන්නා අයට විවාධයක් හෝ තර්කයක් නැති වන්නට පුළුවනි. මොලා සැබැවින්ම ඒ පිළිබඳ වැඩකරුවෙකි. නිර්මාණකරුවෙකි. ඔහුගේ මෙම නිර්මාණකරුවෙකු ලෙස ඇති හැකියාව සංස්කෘතික අංශය නියෝජනය කරමින් දශක ගණනාවක් මුළුල්ලේ විවිධාකාරයෙන් හමුවීම ඉතිහාසය තුල සාක්ෂි ගෙන දෙනු ඇත. යාපා පවසන පරිදි ලක්දිව හිරු පුවත් පතේ සිට කාන්ති පරිසර, ළමා ආදී පුවත් පත් මෙන්ම වෘත්තීය සමිති පුවත්පත්වල ද, ප්‍රචාරණ ආයතන හා දේශපාලනික පක්ෂවල මන්ත්‍රී ඇමැතිලාගේ ප්‍රචාරක උවමනාවන් පමණක් නොව විවිධ තලයේ අවස්ථාවන්ට ඔහු නිර්මාණශීලිව ඉතා වගකීමෙන් කටයුතු කර ඇති බව ද, එපමණක් නොව වැළිකඩ හිරගෙදර සිට ජනාධිපති මන්දිරය දක්වාද තම නිර්මාණාත්මක හැකියාවන් පෙන්නුම් කිරීම ඉතිහාසයට භාරය. එසේම එම ඉතිහාසය නැවත කියවීම හා අවබෝධය මිත්‍ර මොළාට ද විකල්ප සමාජ දේශපාලනයට ද බාර ය.

මෙහිදී යාපාගේ බැරෑරුම් හා වැදගත් දේශපාලනික පරමාදර්ශීත්වය බද්ධකරන ප්‍රකාශය වන්නේ
” මොලාට උතුරක් දකුණක් නැත. අරගලයක් ඇත්නම් එය තමන්ට සාධාරණයැයි හැගේ නම් කොන්දේසි විරහිතව මොලා එතැන හිදියි. ඇන්සල් සටනත් ඉහල කොත්මලේ සටනත් මොලාට එකය. එනිසාම මොලා ඒ දෙකෙහිම යාවජීව සටන් කරුවෙක් විය”

යාපා සටහන් කරන මෙම තේරුම් ගනීම තුල මොලා ඉහත සංස්කෘතික සංජානනයට වඩා දේශපාලනික සංජානනය අභිමුඛ වෙමින් එය විශේෂයෙන් නව පරම්පරාව ග්‍රහනය කර ගනු ලබන්නේ කුමක් දැයි හරියටම කිව නො හැකි ය. එම නිසාම අපගේ සමාජය තවමත් පිළිම සෙවීම හා ඒවා අනුගමනය කිරීම විශේෂයක් ලෙස ගනු ලබන්නේ නම්, අප හැම දෙනාම වචන පිළිබඳව පරිස්සම් විය යුතු වන්නේ අප එලියට දමන වචනය සත්‍ය වශයෙන්ම සත්‍යයක් ද, සදාචාරමය වශයෙන් හා එහි වාස්තවික අරුතින් සත්‍ය ද යන්න පිළිබඳ සවයං ඥාණවිභාගයකින් යුතුව බැලීමට හැකි විය යුතු ය. මා මෙසේ යෝජනා කරනු ලබන්නේ වර්තමාන සමාජය ඉතා සූක්ෂමව පුද්ගල උවමනාවන් හා බලාපොරොත්තු සඳහා දේශපාලනය හා සංස්කෘතිය වෛශ්‍යා වෘත්තියේ යොදා ගැනීමට සාමූහික ශ්‍රමයන් සූරා කමින් සිටින වටපිටාවන් පැටැව් ගසන මොහොතවල්වල දී නිසා ය. අප සමාජය තවමත් පිළිම වන්දනය හා මහා භාරත වීර කාව්‍ය සම්ප්‍රධායේම පසු වන බැවින් මෙවැනි උත්කර්ෂයන් තේරුම් ගනීමට සංවාද ඇති කිරීම හා ඊට අවංක වීම අපට නැති, අපට අවැසි සමාජ දේශපාලයකට හිතන මතන සැමගේ වගකීමක් වන්නේ ය. මින් අදහස් වන්නේ යාපා සඳහන් කරන මොලා එවැනි පන්නයේ කෙනෙකු නොවේ යැයි තර්ක කිරීමකට වඩා එවැනි උත්කර්ශයන්ගෙන් සමාජයට ඇති වැදගත්කම කුමක් දැයි වටහා ගැනීම ය.මෙය මොලා විශයෙහි පමණක් නොව වාමාංශික දේශපාලනයේ හා කුඩා කුඩා සංවිධාන රඳා පවතින පැවැත්මේ ස්වභාවයට ද ඉතා අදාලය.

පුද්ගලයින් වීරයින් කිරීමෙන් සමාජය බොහෝ සේ නො මඟ යෑමට ඇති ඉඩකඩ වැඩි වනු මිසක සමාජ ප්‍රගමනයට දායකත්යක් ලැබෙනුයේ එම උදාරත්වයට පත් පුද්ගලයාගේ ජීවිතය හා භාවිතාව යන්න තුල ඇති පරතරය අවම වීමෙනි. එසේ නොමැතිව ජීවිතය හා භාවිතාව අතර ඇති පරතරය වැඩි වීමෙන් ගොඩනංවන ප්‍රතිරූපය පෙරළා සමාජගත වීමේ දී, එය පරමාදර්ශි වුවහොත් සමාජීය ආත්මය හා ඒ තුලින් ඇතිවන ප්‍රතිනිෂ්පාදනය ද හිස් කෝම්ඹයක් බඳු වන්නේ ය. අපගේ සමාජය අද අත්විඳින්නේ එය නො වේ ද. මේ නිසාම මෙවැනි සටහනකින් ගෙනන යෝජනාව වන්නේ දේශපලන සංස්කෘතිය මෙන්ම සංසකෘතියේ දේශපාලනයට උත්කර්ෂයන් හා වීරත්වයන් අවශ්‍ය ද නැතිනම් එය වැදගත් හෝ අවැදගත් වන්නේ ඇයි ද යන්න නැවත පරිකල්පනය කළ යුතු ය.

විශේෂයෙන්ම ලංකාව විෂයේ දී අනාගත තරුණ පරම්පරාවට උතුර හා උතුරේ ප්‍රශ්නය දේශපාලනික හා මානුෂික සංසිද්ධියකට වඩා රොමෑන්ටික් ජනප්‍රිය විලාසිතාවක් ලෙස ගැනීමට ඇති පරිසරය වෙනස් කිරීමේ වගකීමක් ඇත. මෙයට අයිතිකරුවන් වෙනම නැත ප්‍රගතිශීලීන්ගේ වැඩකි.
” උතුරත් එකයි දකුණත් එකයි” යන ප්‍රකාශය අනාගතයේ දී ද නැවත නැවත මතුවීමට නියමිත දේශපාලනික පරමාදර්ශී පාඨයක් විම ද නො වැලැක් විය හැකි ය. නමුත් ඊට ඇති විසඳුම “චේ ගුවෙරා” පන්නය ගැලපේ ද යන්න නම් කිව නො හැකි වන්නේ, චේ ගුවෙරාගේ ජීවිතය ඉතිහාසය හා සංසකෘතිය තුල හා කාලය හා අනෙකුත් සාධක ක්‍රියාතමක වීම තුල හිමි කර දුන් අවස්ථාව යළි ඒ අයුරින් අපට නො ලැබෙන මෙන්ම ලංකාව වැනි සංස්කෘතික සමාජයකට (එනම් එය සිංහල දෙමළ මුස්ලිම් වුව ද ) චේගේ සමස්ථය ආරෝපණය කිරීම කළහොත් සමාජීය අපට හිමිවන්නේ චේව දූෂිත කරන විකෘතියකි.

අද දවසේ දේශපාලනය යනු අතනත් මෙතනත් කරක් ගැසීමකට වඩා එහා ගිය දෙයකි. එය දේශපාලන සංස්කෘතියක් නිර්මාණයට කරක් ගැසීමක් මෙන්ම නව ඥාණ විභාගයකට කරක් ගැසීමක් මිසක මාධ්‍ය විසින් තරු, ග්‍රහලෝක බවට පත්කොට පොළක බඩු විකුණන සංස්කෘතියක් නො විය යුතු ය. අතනත් මෙතනක් කරක් ගැසීමෙන් සමාජය හා සම්බන්ධ විය හැකි ය. ඉගෙන ගත හැකි ය. මිතුරන් සම්බන්ධ කරගත හැකි ය. එහෙත් චින්තනයට හා දර්ශනයට, නවාකාරයකින් දැකීමට අවැසි දැනුම හා ඥාණය පිණිස විවේකය සපයා ගත හැකි නම් එය මැජික් බලයකි. එබැවින් අතනත් මෙතනක් හැම මඟුලකම යන්නට මිනිසුන් ඇත. ඔවුනට අයිතයක් ද ඇත. එහෙත් ඔවුන් වැරදීමකින් හෝ පරමාදර්ශ වනු ලැබුවත් කම් නැත. නමුත් ඔවුන් එම වටිනාකම් යළි සමාජගත කරන්නට දේශපාලනය තෝරා ගන්නේ නම් පරිස්ම් විය යුතු වන්නේ මෙයාකාර පරමාදර්ශ විසින් අරගලයකට හෝ විප්ලවයකට නායකත්වය සැපයිය හැකි වුුවත් එය බෙහෝ දුරට කෙළවර විය හැක්කේ අවාසනාවක් ලෙසින් වීම ය. මන්ද එවැනි අවස්ථාවන්ගේ නිදසුනක් ලෙස මෙම පදනම් නිදසුනම ගත හැකි ය. ඉහත අන්තරගතයට තුන් වැන්න ද එක් වී ඇති බවින් හතර වැනි කරුණ වන්නේ යාපා ගේ සටහනට ප්‍රතිචාර දක්වා ඇති සටහන් ය

මෙහි එන එකක් වෙත මුලින්ම අවධානය යොමු කළ යුතු වෙමු.

යාපාගේ පරමාදර්ශී උත්කර්ෂයෙහි මල් හටගැනීම හා මා විසින් ඉහතින් සඳහන් කරන ලද කාරණාවලට (නො දත්) සමාජය විසින් බැසගන්නා නිගමනයන්ට හොඳ නිදසුනක් ලෙස ප්‍රගීත් රත්නායක ගේ සටහන වැදගත් ය. ප්‍රගීත් රත්නායක පරම්පරාව යනු අලුත්ම පරපුර ද නොවේ. යාපාගේ කැටගරි කිරීමේ කොහේට හෝ අයිති පරම්පරාවකි. එසේම මෙම සටහන ද පුද්ගිලික එකක් සේ සඳහන් කළ හැකි වුවත් එය හුදේක් පුද්ගලික හැඟවුම්කරණයක් ද? මුලින්ම සමස්ථ සටහන කියවමු.

“පහු ගිය දිනෙක the text ඇකඩමි එකට උපුල් ශාන්ත සන්නස්ගල සමග හදිසියේ ඔහුත් එක්ක තව පුද්ගලයෙක් අවා .අපි එකිනෙක අඳුනගෙන කතා බහ අතරේ සන්නස්ගල මහතා මගෙන් ඇහුවා මොහු දන්නවද කියල .මම කිව්වා නෑ කියල .එහෙනම් මම පස්සේ එයා ගැන කියන්නම් කියල සන්නස්ගල සර්කිව්වා .ඊටත් පස්සේ සන්නස්ගල සර්ගේ උපන්දිනේ දවසෙත් මේ පුද්ගලයා මගේ ලගට ඇවිත් කතා කලා සුන්දර විදියට .04 වෙනිදා මගේ වැඩේට එන්න කියල කිව්වා .ඒත් මට රාජකාරිමය හේතුවක් උඩ එන්න වෙන්නේ නෑ කියල ආදරෙන් කිව්වා .ඒ වෙන කව්රුවත් නෙවි මොල සෙනෙවිරත්න .ඇත්තටම අපේ පරම්පරාවට පොඩි හිදැසක් තියෙනවා ගොඩක් දේවල් සම්බන්ධයෙන් .ඒ අපි JR ගේ මුණුබුරන්ගේ පරම්පරාවට අයිති නිසා වෙන්න ඇති .සිසිර අයියගේ post එකකින් මොල සෙනෙවිරත්න ගැන ගොඩක් දේවල් දැනගත්ත .මේ ඔක්කොම එවුන් ජීවිතයේ විශ්වාස කරන දේවල් වෙනුවෙන් වැඩක් ඇතුලේ එහා මෙහා ගියපු එවුන් .විශේෂයෙන් මොල සෙනෙවිරත්න තමන් විශ්වාස කරන දේශපාලනය වෙනුවෙන් සහ සමාජය වෙනස් කරන්න ගන්නා ලද උත්සාහය වෙනුවෙන් කාපු කට්ට සිසිර අයියගෙන් දැන ගත්තා .මට දැන් පොඩි වරදකාරී හැගීමක් තියෙනවා එදා සන්නස්ගල සර් මෙයා දන්නවද කියල අහපු වෙලාවේ මම ඔහු ගැන නොදැන සිටීම ගැන .මම ආසයි අනෙකා එක්ක පියබන්න සහ අපට මගහැරුණු ඒ ආශාව මුල් තියෙන පරම්පරාවෙන් අපේ පරම්පරාවට කාන්දු වෙනවා දකින්න ” (රත්නායක. මුහුණු පොත)

දැන් ප්‍රගීත්ගේ සටහනේ සමාජීය කොටස ගත් විට මෙලෙස උපුටා දැක්විය හැකි ය.

” ඇත්තටම අපේ පරම්පරාවට පොඩි හිදැසක් තියෙනවා ගොඩක් දේවල් සම්බන්ධයෙන් .ඒ අපි JR ගේ මුණුබුරන්ගේ පරම්පරාවට අයිති නිසා වෙන්න ඇති .සිසිර අයියගේ post එකකින් මොල සෙනෙවිරත්න ගැන ගොඩක් දේවල් දැනගත්ත .මේ ඔක්කොම එවුන් ජීවිතයේ විශ්වාස කරන දේවල් වෙනුවෙන් වැඩක් ඇතුලේ එහා මෙහා ගියපු එවුන් .විශේෂයෙන් මොල සෙනෙවිරත්න තමන් විශ්වාස කරන දේශපාලනය වෙනුවෙන් සහ සමාජය වෙනස් කරන්න ගන්නා ලද උත්සාහය වෙනුවෙන් කාපු කට්ට සිසිර අයියගෙන් දැන ගත්තා .මට දැන් පොඩි වරදකාරී හැගීමක් තියෙනවා එදා සන්නස්ගල සර් මෙයා දන්නවද කියල අහපු වෙලාවේ මම ඔහු ගැන නොදැන සිටීම ගැන .මම ආසයි අනෙකා එක්ක පියබන්න සහ අපට මගහැරුණු ඒ ආශාව මුල් තියෙන පරම්පරාවෙන් අපේ පරම්පරාවට කාන්දු වෙනවා දකින්න “

ප්‍රගීත්ට ඇති වන වරදකාරී හැඟීම කුමක් ද සහ සන්නස්ගල විසින් මොලා පිළිබඳව හඳුන්වා දුන්නේ නම් ඔහු විසින් එය කරනු ඇත්තේ කෙසේ ද යන්න මගින් සුජිත්ට දැනුවත්වීමට නො හැකි වුවත් යාපාගේ සටහනින් ඔහු දැනුවත් වී ඇත. නමුත් සුජිත්ට ඇතිවන වරදකාරී හැඟීම කුමක් ද? එය හුදේක් හේතුවක් නැති වචනයක් ද නැතිනම් ඇත්තටම ඇති වන හැඟීමක් ද. ඔහුගේ මනස තුල ඇති වූ චිත්තය කියවීමට හෝ අනුමාන කිරීමට අයිතියක් නැත. ටී. එස් එලියට් “The Love Song of J. Alfred Prufrock ගැන ලියන කවියක් මෙන් පරිකල්පනය කළ හැකි වුවත් මෙම සංවාදය අවතීර්නය විය යුත්තේ ප්‍රගීත් හා මෙම අදහසේ සිටින සමාජයයි.

ඊ ළඟ වැදගත් සිහින ප්‍රර්ථනාව විසින් ඉල්ලා සිටින අපේක්ෂාව වන මෙම වාඛ්‍ය කණ්ඩය බලමු

” මම ආසයි අනෙකා එක්ක පියාබන්න සහ අපට මගහැරුණු ඒ ආශාව මුල් තියෙන පරම්පරාවෙන් අපේ පරම්පරාවට කාන්දු වෙනවා දකින්න “

මේ සඳහා යාපාටවත් මොළාටවත් දේශපාලනික වශයෙන් පිළිතුරක් තිබේ ද යන්න නො දනිමි. නිර්මාණාත්මක හා වාණිජමය වශයෙන් නම් බොහෝවට පියාඹිය හැකි වුවත් සුජිත්ගේ අපේක්ෂාව එයට වඩා දේශපාලනික දෙයක් යැයි යන විශ්වාසය ගෙන බැලුවහොත් ඊට ඇති පිළිතුර කුමක් ද.

උතුරේ ප්‍රශ්නය වේවා පීඩිතයන්ගේ ප්‍රශ්නය වේවා කුමනාකරයේ හෝ සාධාරණයක් අපේක්ෂාකරන මෙම සමාජයට විසඳුම් සෙවීමට හා සමජය වෙනස් කිරීමට නම් සෙල්ලම් ගෙවල් තැනීම හෝ පාතාල කණ්ඩායම් තැනීම පිළිතුරක් ගෙන දෙන්නේ නැත. එවැන්නක ප්‍රථිපල පෙරලා ගෙන දීමට හිර ගෙවල් හා මරණය සූදානම්ව ඇත. නමුත් ඊට වග කියන්නට බැදෙන්න හා විශ්වාසය ගොඩ නැගීමට හැකි විනයක් හා සදාචාරයක් අප ප්‍රගුණ කළ යුත්තේ අවංකවීම හා කැපවීම යන්න තුල ය. එයට පළමුව පුද්ගලයාත් දෙවැනුව ව්‍යාපරයත් තුන් වැනුව සමාජයත් පුහුණු විය යුතු වන්නේ ය. එය පෙර මෙන් නොවූ අලුත් දෙයක් බවට පත් කර ගත යුතු වන්නෙමු. මේ සඳහා කොතෙක් දුරට එකිනෙකා ක්‍රියා කළ යුතුද යන වගකීම මිසක අස්වැන්න ගෙටි පිටින් නෙළීමට නො හැකි වුවත්, නෙළා ගන්නට සැළැස්වීම මිනිස් වගකීමකි.

පස්වැන්න වන්නේ මොලා සාධනීය ලෙස අධිනිෂ්චය වන ” සිංහල කොටි” යන පච්චයට වග විභාගයකින් තොරව වටිනාකමක් එක්කරමින් ජනප්‍රිය කර සමාජගත කිරීම.

මගේ අදහස නම් සමාජ දේශපාලන ඉතිහාසය තුල මෙවැනි ශුද්‍ර සිදුවීම් ඛේදවාචකයන් ලෙස සිදු වී ඇතිවා පමණක් නොව ඉදිරියට ද සිදු විය හැකි ය. එසේ කියා මිනිසුන් අරගල කරන එක හෝ හිතන එක නවත්වන්නට නො හැකි ය. මේ නිසා යාපාගේ සටහන කුමනාකාරයෙන් හෝ සුභවාදී සංවාදයකට ගෙන ඒමට හැකිනම් මෙමගින් බොහෝ දේ ඉගන ගත හැකි වනු ඇත. අඩුම වශයෙන් නො කළ යුත්තේ කුමක් ද යන්නට වත්.

එසේම යාපාගේ සටහනට ප්‍රති සටහන්ක් තබන සුදේශ් නන්දිමාල්ගේ මොලා පිළිබඳ අදහස හා කෝපය ද මෙම සංසිද්ධියේ එක අඩංගුවකි. මේ වනවිට සිදු විය යුතු සියල්ල සිදු වී, අතුරු ප්‍රථිපල පමණක් බුක්ති විඳිති. එම නිසා නන්දිමාල් ගෙනෙන චෝදනාව මොලාට පමණක් ශේෂ කිරීම අයුක්තිසහගත විය හැකි ය.

මෙම සිද්ධිය සපටන් ගැන්මේ සිට අවසානය දක්වා ගමන් කළ ආකෘතිය පිළිබඳ වැටහීමක් ඇත්නම් එසේ චෝදනා කළ හැකි පුද්ගලයන් වන්නේ මෙයට කිසිසේත් සම්බන්ධයක් නැති නිරපරාධී අයට ය. නන්දිමාල්ගේ මැදිහත්වීමේ දිග පළල මට කියන්නට නොහැකි වුවත්, ඔහු නඟන කාරණා හුදෙක් අසත්‍ය හෝ වෛරයෙන් පවසන්නක් යැයි ද කිව නො හැකි නම්, එය අභ්‍යන්තරික ප්‍රශ්නයක් පමණක් නොව මෙවැනි දෑ වීරත්වයට නැගීම යම් ලෙසකින් අලුත් සංස්කෘතියක් හෝ අලුත් දේශපාලනයක් විය හැකි ය. එසේ වන්නේ නම් මෙතෙක් පැමිණි ඉතිහාසය අහෝසි විය යුතු ය. අනෙත් කරුණ වන්නේ ” සිංහල කොටි” යන ලේබලය මාධ්‍යකරණය කරමින් පහසු ගොදුර බවට මෙම කණ්ඩායම පත් වුවත්, සිංහල කොටි අර්ථය ගොඩ නැගීමේ ඉතිහාසය තවත් එහාට යනු ඇත. ආසන්න වශයෙන් ගත්ත ද මොලා අප ප්‍රමුඛව ගොඩ නඟන සංවිධානවලට පෙර පටන් මෙම බීජයට දායක වූවන් ද අදටත් දේශපානයේ ද සමාජයේ ද ඇත.

මේ නිසා පිළිම තැනීමේ දී මග හැරෙන හා මග හරින මෙන්ම අමතක කරන සත්‍යයට සමාජ වටිනාකම් ගෙන දීමේ දී පරිස්සම් විය යුතු ය. එය විනාශයට ද විකෘතියට දක් විය හැකි ය. එය මීට වඩා වෙනස් ලෙස කීමට භාෂාවක්, සදාචාරයක් හා අවවංකභාවයක් අප සතු නම් අනාගත ලෝකය ලස්සන විය හැකි ය. ශ්‍රමයේ වටිනාකම් ඉතිහාසට එක් වනු ඇත. එය බර්ටෝල් බ්‍රෙෂ්ගේ කවියකින් ඔහු එදා කියන්නට ඇත්තේ ද මෙවැනි සිදුවීම් නිසා විය හැකි ය.

“රජවරුන්ගේ නම්වලින් පිරී ඇති පොත්
සෙල්මුවා කුළුණු රජුන්ගේ ඉදි කළ
බැබිලෝනියාව, වාර ගණනක් විනාශ කළ
ඒ ඒ කාලවල නගරය ගොඩ නැගුවේ කවුද
……

තරුණ අලෙක්සැන්ඩර් ඉන්දියාව ආක්‍රමණය කළේය
ඔහු විතරක්ම ද
සීසර් ගවුල්ස්ව පරාජය කළේය
ඔහුගේ හමුදාවේ කෝකියෙකුවත් නො සිටියේ ද
ස්පාඥඥයේ පිලිප් තම නාවුක හමුදාව ගැන වැළපිණි
ගිලී විනාශ වූ
වෙනත් අයගේ කඳුළු නොවිණි ද
………

අවසානයක් නැති වුවත් මෙම ලිපිය අවසාන කිරීමට පළමුව මොලාගේ කාව්‍ය සංග්‍රහය කියවන්නට අසාවෙන් සිටින අය අතර එකට හිරේ හිටිය වුන් බොහෝ ඕනෑ කමින් සිටිය හැකි ය. අඩුම වශයෙන් ලංකාවේ සිටින එකෙක් දෙන්නෙක් වත් අවාද යන්න නො දනී. එසේ නොපැමිණියේ නම් හෝ ඔවුනට ආරධානා නොකළේ නම් එය එය ද කවියක් වනු ඇත.

එම නිසා මෙම සංවාදය ජයන්ත කහටපිටිය සොයුරා තබන සටහනින් අවසන් කරන්නේ පොතත් කතෘත් දෙකක්ද එකක් ද නැතිනම් කාලාව කාලාව පිණිස ද නැතිනම් කලාව ජනතාව පිණිස ද යන තේමාව මෙන් මෙය ද සමාජ දේශපාලනික සංසකෘතික කථිකාවට වැදගත් වන හෙයිනි.

“මේ පොතේ ඇත්තේ එසේ පුණරුත්තාපනය කල නොහැක්කෙකු විසින් හෙවත් හෘදය ශාක්ෂිය පිළිබඳව මරණය තෙක් වග කියන්නෙකු විසින් ලියන ලද කවි කීපයකි. ඒවා හැඳින්වීමට භාෂාවක් නිර්මාණය කරගත යුත්තේ ඒ සංදර්භය තුලින්මය. ඒවා විචාරය කිරීමටද විචාර වේදයක් ඒ තුලින්ම හදා ගත යුතුය.
කෙසේ වෙතත් මෑත කාලයේ මා බෙහෙවින්ම කම්පනයටත් තැතිගැන්මටත් ලක්කල කවි මේ පොතේ තිබේ. මිනිසෙකු නිහඬ කලනොහැකි බවට මේ කවි සදා සාක්ෂි දෙනුඇති.” (කහටපිටිය. මුහුණු පොත)

උදය ආර්. තෙන්නකෝන්

 

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Archives

Author´s contribution

Author´s contribution

Blogs I Follow

Radio Program

Fremd geworden – Fremd geblieben

Wer flüchten muss, tut dies oft, weil er im eigenen Land fremd geworden, für das eigene Land ein Fremder, eine Fremde geworden ist. Und wer als Flüchtling in die Schweiz kommt, erlebt als erstes, dass er auch hier ein Fremder, eine Fremde ist. 4 Flüchtlinge zeigen mit der Sendung Vitamin B, wie sie versuchen, hier bei uns nicht mehr länger einfach nur Fremde zu sein. Sondern Arbeit zu finden und sich integrieren zu können.
%d bloggers like this: